ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කළ විශේෂ ප්‍රකාශය

ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කළ විශේෂ ප්‍රකාශය

අයහපත් කාලගුණයෙන් බිඳ වැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථාවත් කරනවා ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක ගණනාවක බිඳවැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර මහතා පැවසීය.

මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ජල සැපයුම පාරිභෝගික ජනතාවට කඩිනමින් ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ විදුලිබල මණ්ඩලයේද සහාය ලබා ගෙන තිබෙන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාර ජලයෙන් යටවූ බවත්, එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාරවලට විශාල හානියක් සිදුව තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

තිස්සමහාරාමය, කතරගම, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, අම්පාර, , උතුරු මැද, උතුර සහ වයඹ පළාත්වලට මේ වන විට ජල සැපයුම බිඳවැටී තිබෙන බවත් පැවසූ සභාපතිවරයා, මේ වන විට ගාල්ල, අනුරාධපුර, මඩකලපුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජල සැපයුම සියයට සියයක්ම යථා තත්ත්වයට පත් කර තිබෙන බවත් පෙන්වා දුන්නේය.

එසේම බස්නාහිර පළාතේ අඹතලේ, ලබුගම, කලපුවාව සහ බියගම යන ප්‍රධාන ජලමූලාශ්‍රවලට හානියක් සිදුව නොමැති බවත්, කැලණි ගඟ පිටාර ගැලීමෙන් එම ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ ජල පොම්පාගාරවලට තිබූ අවධානමද මේ වන විට පහව ගොස් තිබෙන බවත් ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර සඳහන් කළේය.

ජල සැපයුම බිඳ වැටී තිබෙන බොහෝ ප්‍රදේශවලට ජල බවුසර් ආධාරයෙන් ජලය ලබාදීමට පියවර ගෙන තිබෙන බවත්, ජල සැපයුම බිඳ වැටී තිබෙන අනිකුත් ප්‍රදේශවල ජල සැපයුම යථාවත් කිරීමට ත්‍රිවිධ හමුදාවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, විදුලිබල මණ්ඩලයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේත් සහාය ඇතිව පියවර ගෙන තිබෙන බවත්, ඒ අනුව ඉදිරි දින තුන ඇතුළත ජල සැපයුම සියයට සියයක්ම ලබාදීමට හැකියාව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *