ජනපති සහ විරෝධතාවයේ නියුතු මාදැල් ධීවරයන් අතර සාකච්ඡාවක්

ජනපති සහ විරෝධතාවයේ නියුතු මාදැල් ධීවරයන් අතර සාකච්ඡාවක්

සියලු ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟාදීම රජයේ අරමුණයි

සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර විසඳුමකට එළැඹෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත මාදැල් ධීවරයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

විරෝධතාවයේ නිරත ධීවරයන්හට ජනාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර  2010 වසරේ ආරම්භ කර, ශ්‍රමික ගැටලුව හේතුවෙන් 2013 වසරේ සිට වින්ච් ක්‍රමවේදය භාවිතා කරමින් ඉදිරියට පත්වාගෙන ආ මාදැල් ධීවර කර්මාන්තය ආශ්‍රිතව මේ වන විට මතුව ඇති තත්ත්වය පිළිබඳ ඔවුහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.

එමෙන්ම, තමන් මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව ලබා දීම පිළිබඳවද ධීවර නියෝජිතයෝ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළහ.

ධීවර නියෝජිතයන්ගේ අත්දැකීම් අනුව මතු කළ සියලු කරුණුවලට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පැණ නැඟී ඇති මෙම ගැටලුවට විසදුම් සෙවීමේදී ආර්ථික වශයෙන් කිසිවෙකුගේ ජීවන තත්ත්වයන් අඩාල කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත්, රජය  පෙනී සිටින්නේ සියලු දෙනාගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් බවත් අවධාරණය කළේය.

එසේම, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී පොදු ධීවර ජනතාවගෙන් ලැබෙන පැමිණිලි, පරිසර සංවිධාන මෙන්ම මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වන රාජ්‍ය ආයතන, ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන සහ අනෙකුත් ආයතන මගින් ලබා දී ඇති වාර්තාද සැලකිල්ලට ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ධීවර ජනතාවගේ ආර්ථික හානියක් නොවන ලෙසත්, පරිසර සුරක්ෂිතභාවය තහවුරු වන ලෙසත්, අන්තර්ජාතික සම්මූතීන්ට අනුකූලව සහ මතු පරම්පරාව වෙනුවෙන්ද ධීවර කර්මාන්තය සහ සාගර සම්පත් ආරක්ෂාවන ලෙසත්, තහනම් පන්න ක්‍රම භාවිතයට පැමිණීම වැළැක්වෙන ලෙසත් කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

ඒ අනුව සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කර ගැනීමට මෙහිදී එකඟතාව පළ කෙරුණු අතර, විරෝධතාව නතර කිරීමටද තීරණය කෙරිණි.

අදාළ සාකච්ඡා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන සඳුදා දින ආරම්භ කිරීමටද මෙහිදී තීරණය විය.

සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ දැනට මෙම ක්‍රමය යටතේ ධීවර කර්මාන්තයේ නියතු වූවන් මුහුණ දෙන කල්බදු  ආදී ගෙවීම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය සමගද සාකච්ඡාවක් ලබා දීමටත් මෙහිදී වැඩිදුරටත් එකඟතාව පළ කෙරිණි.

author

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *